Thursday, November 21, 2013

එජාපයත් ජවිපෙත් අය වැය කතාව වර්ජනය කරයි - ටී.එන්.ඒ. යයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2014 අය වැය කතාව වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් අය වැය කතාව වර්ජනය කළ යුතු බවට තීරණයක් ගත් බව එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ද අය වැය කතාව වර්ජනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කීවේය.

කෙසේ වුවද මෙම පක්ෂ 2කම අය වැය විවාදයට සහභාගි වන බව පැවසෙයි.

මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අය වැය කතාවට සහභාගි වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

You might also like - මදි නොකියන්න තොරතුරු: