Tuesday, July 7, 2015

අවසන් න‍ාමයෝජනා ලැයිස්තුව අද රාත්‍රී ජනපතිගේ අවධානයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවසාන නාමයෝජනා මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද රාත්‍රියේ දී මෙම සාකච්ඡා පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අවසාන නාමයෝජනා මණ්ඩලය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුතු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.


මේ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න, එස්.බී.දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටින බව සඳහන්ය.

ඒ අනුව මෙම සාකච්ඡාවේ දී සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු සකස් කර අවසන්ව ඇති බව ද වාර්තා වේ.

මේ අතර රජය සමග සම්බන්ධ වී සිටින නිදහස් පක්ෂ නියෝජිතයින් අද පස්වරු 6.00ට කොළඹ දී රැස්වීමට නියමිතය.

මෙහිදී සියලුම දිස්ත්‍රික්කවලට යෝජනා කර ඇති ඔවුන්ගේ නාමයෝජනා ලැයිස්තු පිළිබඳ විශ්ලේෂණයක් සිදුකරනු ඇත.


මේ අතර දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ කිසිවෙකුටත් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබානොදීමට සියලු පාර්ශවයන් එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

You might also like - මදි නොකියන්න තොරතුරු: