පොදු සමා කාලය නිමාවීමෙන් පසු සෞදි අරාබියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නීති විරෝධී ලෙස සෞදි අරාබියාවේ රැඳී සිටින පුද්ගලයින්ට එරටින් පිටුවීම සඳහා පසුගිය තුන්වන දින දක්වා පොදු සමා කාලයක් ලබාදී තිබුණි.
එම කාලය තුළ රටින් පිට නොවී නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිමට සෞදි රජය තීරණය කර කර ඇත.
කෙසේ වෙතත් අදාළ පොදු සමා කාලය යටතේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වු පුද්ගලයින් 1500ක් පමණ සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඔවුන් මේ වන විට සෞදි තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ විශේෂ සුරක්ෂා මධ්‍යස්ථානයක රඳවා සිටින අතර මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි.
