උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ උඩුවර යන දුම්රිය ස්‌ථාන අතර හතේ කණුව ප්‍රදේශයේදී විශාල ගල් සහිත පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (28 දා) බණ්‌ඩාරවෙල දක්‌වා සීමා කෙරිණි.
එම ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙම පස් කන්ද කඩාවැටී මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති නිසා බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය සියල්ල අවලංගු කිරීමට සිදුව ඇත.
මේ වන විට දුම්රිය මාර්ගයට වැටී ඇති ගල් සහ පස් ඉවත් කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙක් 'දිවයින'ට පැවැසීය.
මාර්ගයට විශාල ගල් වැටී ඇති බැවින් බොහෝ විට අද (29 දා) වනතෙක් දුම්රිය ගමනාගමනය බණ්‌ඩාරවෙල දක්‌වා තවදුරටත් සීමා වනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය.
