දිගු කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළි සිටි දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයින්ගේ වීරයා ලෙස සැලකෙන එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 95 වැනි වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
මැන්ඩෙලා මහතාගේ සමුගැනීම ගැන වත්මන් දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සුමා විසින් එරට මාධ්‍යවෙත මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
“ අපේ රටට උතුම් පුතෙක් අහිමි වුණා“ යනුවෙන් ජෙකොබ් සුමා ජනාධිපතිවරයා විසින් මැන්ඩෙලා මහතාගේ අභාවය ගැන ශෝකය පළ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනූව නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිත අතර අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.
නෙල්සන් මැන්ඩෙලා මහතාට ශෝකය පලකිරීම සඳහා දකුණු අප්‍රිකානු ධජය අඩකුඹු කර තබන ලෙස වත්මන් ජනාධිපති ජෙකොබ් සුමා ඉල්ලීමක් ද කර ඇත.
මැන්ඩෙලා මහතාගේ අභාවය ගැන සැලවීමෙන් පසු පුද්ගලයින් විශාල පිරිසක් හඬා වැලපෙමින් ඔහු දැක ගැනීමට දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් පිහිටි නිවෙස වෙත පැමිණෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
පෙනහළු පිළිකාවකින් පීඩා විඳි මැන්ඩෙලා මහතා සිය ජීවිතයේ අවසන් කාලයේදී ප්‍රිටෝරියා හි රෝහලක මෙන්ම නිවසේ සිටද ප්‍රතිකාර ලබමින් සිටියේය.
2004 වසරේදී සාමාජීය කටයුතුවලින් නිල වශයෙන් විශ්‍රාම ගන්නා හෙතෙම 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාව විය.
